කුමුදු සර් එහෙමත් නැතිනම් සිංහල බ්ලොග් අවකාශයට තම ලිපි මගින් වටිනාකමක් එක් කල බ්ලොග් සහෘදයා අපෙන් වෙන් වී ගිහින් හරියටම වසරක්! . කාලය කොයි තරම් වේගයෙන් ගලා යනවද ? පහුගිය අවුරුද්දෙ කොලොන්නාව සුසාන භූමිය ලඟින් යන හැම වෙලාවෙම සර්ව මිහිදන් කරපු ඉසව්ව දිහා බලාගෙන යන පුරුද්දක් මට තිබුණා. ඒකට හේතුව සර්ව මිහිදන් කල වෙලාවෙ මගෙ හිතට ආව හැඟීම් ගොඩක් නිසා. සර්ගෙ මිනී වල තිබුණෙ කනත්තෙ කාගෙවත් අවධානයකට ලක් නොවෙන කොණක. අනිත් කාරණෙ ඒක බොහොම රඏ ආකාරයට කපපු වලක්. මේ වෙන කොට ඒ වලේ සළකුණක්වත් තියෙනවද කියන එක සැකයි. කොහොම උනත් මැරුණට පස්සෙ හැදෙන මහා සොහොන් කොත් නැති වුනත් පරිගණක කෙෂ්ත්‍රයෙ රැකියාවේ නියැලෙන මා ඇතුලු බොහෝ පද්ධති සැකසුම් කරුවන්ගේ මෘදුකාංග කේතයන් තුල එතුමාගේ මතකයන් සදාකාලිකව පවතින බව මා විශ්වාස කරනවා.

ඉතින් එතුමා සමුගෙන වසරක් ගෙවී ගිය දිනයේදී එතුමා සිහිකරන සියලු දෙනා සමග මා ද එක්වී ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම මේ අවුරුද්ද ඇතුලත අලුතින් සිංහල බ්ලොග් ලියන්න එක වුන සියලු සහෘදයන්ට ආරාධනා කරනවා කුමුදු සර්ගෙ තම තම නැණ පමණින් බ්ලොග් සටහන් කියවන්න කියලා.
පෙර ලිපි : කුමුදු සර්
ආරෝග්‍යා පරමා ලාභා කියන කතාවෙ නියම තේරුම දැනෙන්න හොඳටම අසනීප වෙන්නම ඕනෙ කියන එක මට දැනුනේ සති කිහිපයකට කලින් ජීවිතේ පලවෙනි වතාවට රෝහල් ගත වෙන්න සිද්ධ උනාට පස්සෙ. අපි ලෙඩ්ඩු බලන්න රෝහලට ගියත් ගිලන් ඇඳක වැතිරිලා ගෙවන ජීවිතේ කොයි තරම් අප්‍රසන්නද කියන එක වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
පිට පිටම දෙවතාවක් වැලඳුනු වෛරස් උණක් නිසා මගේ රුධීරයේ පට්ටිකා අගය (Platelate count) දරුණු ලෙස පහලට වැටුනා. මුලදී ඩෙංගු ලෙස සිතූවත් එය ඒ හා සමාන වෛරසයක් පමණක් වීම සිතට එක් කලේ සහනයක්. ඒ කෙසේ වෙතත් එයින් ලත් විඳවීම නම් වචනයෙන් විස්තර කිරීම අපහසුයි.

කොහොම උනත් වාසනාවකට මට නවතින්න වුනේ හුරු පුරුදු පරිසරයක මා හොඳින් හඳුනන සුන්දර මිනිසුන්ගෙන් පිරුණු මුල්ලේරියාව මූලික රෝ හලේ (නැගෙනහිර කොළඹ මහ රෝහල ලෙස එය නම් කිරීමට නියමිතයි | පෙර ලිපි : ශල්‍යාගාරයක මොහොතක්…) එය මට පමණක් නොවේ, මගේ පවුලේ අයටත් අස්වැසිල්ලක් වුන බව කිව යුතුමයි.
මා රෝහල් ගත කල මොහොතේ සිට වරින් වර පැමිණ මා දුක සැප බැලූ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල මහතාත් එමෙන්ම රෝහලේ හිටපු සහය අධ්‍යක්ෂක වෛද්‍ය ඉන්දික සම්පත් මහතාත්, තුලිත සජීව සොයුරාත් ඇතුලු මට ප්‍රතිකාර කල වෛද්‍යවරුන් හෙදි සොයුරියන් සහ අනෙක් රෝහල් කාර්ය මණ්ඩලයට මා සැබවින්ම ණය ගැතියි.
ඒ වගේම මා වෙනුවෙන් වෙහෙසුන, ඒ අසීරු කාල සීමාවේදී මා දිරිමත් කල මට සහය දුන් මගේ සියලු හිත මිතුරන්ද මා සිහිපත් කරන්නේ ඉතා කෘතවේදීත්වයකින්.
ගෙවූ ජීවිතයේදී ඉපැයූ මිල මුදල් වලට වඩා ඉපැයූ හිත මිතුරන් බොහෝ ප්‍රබල බව ඉස්මතුව දැනෙන්නේ මෙවන් අත්දැකීමකදීය යන්න මා මෙන්ම එවන් අත්දැකීම් ලත් අයත් සාක්ෂි දරනු ඇති බව නම් නිසැකයි ෴
අපේ රටේ පෝස්ටර් ගැන කතා කරද්දි මතක්වෙන විහිලු කතාවක් තමයි බාසුන්නැහේ කෙනෙක් තාප්පයක් සාදා නිම කරන තෙක් තවත් මිනිසෙක් පෝස්ටරයකට පාප්ප ගාගෙන අලවන්න බලාගෙන හිටියාය කියන කතාව. විහිලුවට කිව්වත් ඒ කතාවෙත් ඇත්තක් තියෙන බව තේරුම් ගන්න මහ පාරක මීටර් කීපයක් ඇවිදීමම ප්‍රමාණවත්. පෝස්ටර් ඇලවීම මොනතරම් වේගයකින් සිද්ධවෙනවද කිව්වොත් එක රෑක එකපිට පෝස්ටර් කීපයක් ඇලවෙනවා. ඡන්දෙ කාලයක් ගත්තොත් මේක හුඟක් බරපතලයි.

http://www.flickr.com/photos/cerno/1522828591/
රට පුරා තත්වෙ මෙහෙම උනත් මේ කියන්න යන්නේ පහුගිය දශක එකහමාරකට ආසන්න කාලයක් තිස්සෙ කිසිදාක පෝස්ටරයක් නොඇලවුනු තාප්පයක් ගැන. ඒක මහ ඡන්ද කාලෙකදිවත් වෙනස් වුනේ නෑ කියන එක නම් මට හොඳින් මතකයි. විශේෂත්වය වෙන්නෙ ඒ තාප්පය රකින්න ආරක්ෂකයින්වත් වෙනත් විශේෂ නීතියකිනුත් තොරව පෝස්ටර් අලවන්නන්ම ස්වයං වාරණයක් පනවා ගැනීම.
නව නුවර පාරේ මාලබේ පසුකර යන උදවියටනම් මෙය අලුත් දෙයක් නොවේවි. ඒ ඔවුන් නොවැරදීම මාලබේ රාහුල බාලිකා විදුහලේ තාප්පය දැක ඇතැයි මා සිතන නිසා. ඉවක් බවක් නොමැතිව පෝස්ටර් ඇලවෙන රටේ මේ තාප්පය මේ විදිහට රැකිලා තියෙන්නේ එහි ඇති හෘදයාංගම වැකි කිහිපයක් හේතුවෙන්.
සිසු හද පවුර නොකෙළසමු සබඳ – රාහුල දියණියෝ
අලවා දැන්වීම්, කිළිටි නොකරමු අපේ මායිම් – රාහුල දියණියෝ
මෙහි කොළයක් ගසා, නොයමු අපගේ පවුර වනසා – රාහුල දියණියෝ
අනෙක් තාප්පවල දක්නට ලැබෙන දැන්වීම ඇලවීම තහනම්, Stick no Bills වගේ යෙදුම් වලට හාත්පසින්ම වෙනස් වූ ඉහත ආයාචනාත්මක වැකි දකින විට කිසිවෙකුටත් පෝස්ටරයක් ඒමත ඇලවීමට නොසිතීම අරුමයක් නොවේ.
එසේ නම් මේ තාප්පය නිහඬව කියාපාන සත්‍යය වන්නේ නීතියට හිස නොනවන මිනිසුන් පවා මෘදු වදන් මගින් පාලනය කල හැකි බව නොවන්නේද?
පලි: මේ තාප්පයේ ඡායාරූපයක් නැතුව පෝස්ට් එක අසම්පූර්ණයි වගේ. ඒත් අවාසනාවකට වගේ එහි ඡායාරූපයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ වත් නැහැ.
මීට මාස කිහිපයකට කලින් ලියපු අන්තිම පෝස්ට් එක ලියැවුනේ ඉලංදාරියා ගැන. ජීවිතයේ වෙහෙසකර කාලයක් පසුකරමින් සිටින නිසාම බ්ලොග් එකට ලියන්න අපහසුතා ඇති වුනත් කවදාවත්ම හිතුවෙ නෑ ඊළඟ පෝස්ට් එක ඉලංදාරියා ගැනම, විශේෂයෙන්ම එයාගෙ මරණෙ ගැන ලියන්න වෙයි කියලා.

෴ ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙන් ෴
අපි හැමෝටම දවසක යන්න වෙන ගමන ඉලංදාරියා කලින්ම යන්න ගිහින්. ඒත් වැදගත් යමක්, හිතන්න යමක් ඉතිරි කරලා. සිංහල බ්ලොග් සංසදයේ හමුවෙන් පස්සේ ඇති වෙච්ච මත ගැටුමකදි බ්ලොග් අවකාශයේ අය එකාට එකෙක් නැති එකමුතු කමක් නැති රැලක් කියලා කියපු ඇත්තන්ගෙ කටවල් වැහුනෙ ඉලංදාරිය වෙනුවෙන් බ්ලොග් අවකාශයේ මිතුරන් වෙච්ච මහන්සිය හමුවේ කියන එකයි මගේ විශ්වාසය.
ඒ දේ හැමෝටම පෙන්නන්න මග පෙන්නපු ඉලංදාරියා, එහෙමත් නැත්නම් දිලුම් අවසාන කාලෙ ඒ එකමුතුකමත් මනුස්සකමත් නිසා අසනීපය අතරින් උනත් සතුටු උන බව අපි හැමෝටම රහසක් නෙවේ. සිංහල බ්ලොග් අවකාශයේ මිතුරන්ට අඩුම තරමේ ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්.
ඉතින් ඒ එකමුතු කමින්ම ප්‍රාර්ථනා කරමු – “දයාබර දිලුම්, සසර සරනා කිසිම ආත්මයක නැවතත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. ඔබට නිවන් සුව ලැබේවා“ කියලා.
බ්ලොග් එකට ආවෙ හුඟක් දවසකින් – ඉවරයක් නැති වැඩ නිසා විවේකයක් නම් නෑ. ඒත් නොලියම බැහැ අසනීප වෙලා ඉන්න ඉලන්දාරියට වඩා, එයාව සනීප කරගන්න සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් ගන්නා වෙහෙස ගැන. පරක්කුවෙලා ලියන මට ලියන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. ඉල්ලන්න තියෙන්නේ ඉලන්දාරියා සනීප කරන්න හැකි පමණින් උදව් කරන්න කියලා.

https://sites.google.com/site/handsfordilum/
http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html
http://dukaa.blogspot.com/2011/01/blog-post_27.html
http://taboosubjects.wordpress.com/2011/01/31/240/
http://blog.sudaraka.com
“මා ලිවීමෙහි නිරත ව සිටින කාමරය පිහිටි වීදි කෙළවර ඉදිරිපිට හිට ගෙන දවස මුළුල්ලේ ම රටකජු ඇට විකුණන්නෙක් මට පෙනේ ….
හෙතෙම ජීවිතයේ නියත අරමුණක් නැත්තන්ගේ හමුදාව හැදී ඇති පුද්ගලයන්ගෙන් එකෙකි.
ඔහු රටකජු විකුණන්නේ ජීවිතය නැමති සයුරෙහි ඔහු පාවෙන තැනැත්තෙකු බැවිනි.
ඔහුගේ සිතුවිලි වල චිත්‍රයක් අඳිත හැකිනම් ඒ චිත්‍රයෙහි තිබෙනු ඇත්තේ ඇට බදින මිනිසෙකුත් කුඩා කඩදාසි බෑග් ටිකකුත් රටකජු ඇට මිලදී ගන්නා මිනිසුනු ටික දෙනෙකුත් මිස අනෙක් කිසිවක් නොවන බව නිසැකය”
- නැපෝලියන් හිල්ගේ The law of success හි සිංහල අනුවාදය, දියුණුවේ රන් දොරටුව පලමු පොත 133 පිටුව (පරිවර්තනය – දයා රෝහණ අතුකෝරාල)
මෙය ප්‍රායෝගික මනෝවිද්‍යාව/ ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් පොත් ලියූවන් අතර ඉහලින් කියැවෙන නැපෝලියන් හිල් ගේ පොතක තිබිය හැකියැයි මා කිසිසේත් සිතූවක් නොවේ. ඒ එකී කඩල විකුණන්නා ගැන විනිශ්චයකට එලඹීමටත් වඩා පිටතින් පමණක් බලා ඔහු ගැන සඳහන් කර ඇති අවඥා සහගත වචන නිසාවෙනි. මගේ විශ්වාසයනම් කිසිවෙකුගේ පිටතින් අප දකින දේ පමණක් බලමින් විනිශ්චයන්ට එලඹීම අතිශයින් වැරදි ක්‍රියාවක් බවයි. අපට සමාජයේ හමුවන සෑම මිනිසෙකුගේම යම් වටිනාකමක් ඇති අතර අප දකිනවාට වඩා එකී සෑම මිනිසෙකුගේම ඇතුලත අතිශය සංකීර්ණය යන්න මගේ විශ්වාසයයි. මෙය මගේ ජීවන අත්දැකීමක් ඇසුරින් ඔබ හමුවේ තැබීමට යත්න දරන්නේ නැපෝලියන් හිල්ගේ අදහසට මගේ විරෝධය පල කරන අතරතුරමය.

http://blog.travel-culture.com/2009/02/17/pakistani-street-vendor/
මීට බොහෝ කලෙකට පෙර අප ප්‍රදේශයේ විසූ කඩල විකුණන්නෙකු මගේ මතකයට නැගෙයි. දාබිඳු වලින් නිතර වැසීගත් දුඹුරු පැහැ ගත් කුඩා සිරුරකින් යුතු වූද ලිපකට දැමූවද ඇවිලෙතැයි නොසිතෙන සරමකින් සැරසීගත් ඔහු තමාගේ කඩල කරත්තය නගරයේ එහා මෙහා ගෙන යාම එකල සුලබ දසුනක් විය. බොහෝ මිනිසුන්ගේ අවධානයට හෝ සැලකිල්ලට ඒ තරම් ලක් නොවූ ඔහු සෑම දිනකම නිහඬවම තම දෛනික රාජකාරියේ, එනම් කඩල විකිණීමේ නිරතව සිටියේය. නැපෝලියන් හිල් මෙන් බොහෝ මිනිසුන් ඇතැම් විට ඔහු තම තමන්ගේ විනිශ්චයන්ට භාජනය කරන්නට ඇති නමුත්, කඩල කරත්තයක් තල්ලු කරමින් ජීවිකාව සරිකර ගැනීමට එහා ගිය පරිකල්පන ශක්තියක් ඔහුට තිබුණේ යැයි මා විශ්වාස කරන්නේ මිය යාමට පෙර ඔහු සාක්ෂාත් කරගත් ඉලක්කයන් එකී ජීවිතයේ නොඅඩුවම දුටු බැවිනි.
බොහෝ වෙර වීරිය යොදා ඔහු ඉදි කල රට උළු සෙවිලිකල නව නිවස එකල ගම්වාසීන්ගේ පුදුමයටත් ඊර්ෂාවටත් බඳුන් වූ බව මගේ මතකයයි. නව නිවසක් ඉදි කලේයැයි කිසි විටක උදම් නොවූ ඔහුගේ කඩල කරත්තය ඉන් අනතුරුවද නගරයේ දක්නට ලැබුණි. මින් අනතුරුව ගෙවී ගිය වකවානුවේ ඔහු යම් සමාජ අවධානයක් ලැබූයේ මිනිසුන් සිත්තුල ඔහු කෙරෙහි වූ පහන් හැඟීමකටද වඩා ඊර්ෂාව නිසායැයි මා සිතමි. කඩල විකිණීමෙන් ලද මුදල ඔහු පොලියට දුන් බව එකල ගම් වාසීන් මුමුණනු මා අසා තිබේ. කෙසේ වෙතත් මේ ඕපාදූප අතරේ ඔහුගේ දසුන මට නිරතුරුවම සිහිකලේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කරුවල ගෙදර තිනන්වය.
තමන්ගේ පාඩුවේ තම ඉලක්කයන් පසුපස හඹා ගිය මේ අපූරු මිනිසා තම පුතුන් දෙදෙනාද දුවණියටද උසස් අධ්‍යාපනයේ දොරටු විවර කර දුන්නේය. උපාධිධාරී දරුවන් සමාජයේ ඉහලින් තැබූ ඔහු ඉන් අනතුරුවද තම සමීපතමයා වූ කඩල කරත්තයට සමු නොදුන්නේය. එය ඇබ්බැහි කමද, දරුවන්ට හෝ බරක් නොවන අදිටනින් මෙහෙයවන ලද්දක්ද එසේත් නැතිනම් මිය යාමට පෙර තවත් ධනය දරුවන් වෙනුවෙන් රැස් කල යුතුය යන්න ඇදැහූ පියෙකුගේ ක්‍රියාවක්ද යන්න නොදනිතත් මියයන තුරා ඔහු සතුටින් ජීවිතය ගත කල බව මගේ මතකයයි. ඒ ඔහු කඩල කරත්තයට එහා ගිය තමන්ගේ සියලු බලා පොරොත්තු ඉටු කරගත් සාර්ථක මිනිසෙකු වීම නිසා බව මගේ විශ්වාසයයි.
මෙකී කාරණය සිහිපත් වන මට, නැපෝලියන් හිල් හෝ වෙනත් ලේඛකයෙක් සමස්තය පටු කෝණයකින් බලන අවස්ථාවක එය ගෝචර නොවීම පුදුමයක් නොවේ. මේ සටහන තබනුයේ අප එදිනෙදා දකින්නා වූද, කිසිදා සැලකිල්ලකට බඳුන් නොවන්නා වූද දාබිඳු වලින් හා දුහුවිල්ලෙන් වැසී ගත් සොඳුරු මිනිසුන් අතර, අප නොසිතන තරම් දුරට අදිෂ්ටානයෙන් හා පරිකල්පන ශකතියෙන් අනූන වූ මිනිසුන් ඇතිබවත් එකී මිනිසුන් ලෝකයේ ප්‍රගමනයට නිහඬ දායකත්වයක් සපයා එකී නිහඬත්වයෙන්ම සදා කාලික නින්දට යන බවත් මතක් කර තැබීමටය.
අද කියන්න යන්නෙ අනුරසිරිට වඩා අවස්ථාවන් තිබුණත් තමන්ගේ සොයා ගැනීමකට වටිනා කමක් ලබා ගත නොහැකි වූ තරුණයෙක් ගැන. ඔහුගේ නම මගේ මතකයේ නැහැ. මෙය කියවන කිසිවෙකුට හෝ එය මතක් කල හැකි නම් මා සතුටු වෙනවා. මට නිවැරදිව මතක් නොවුනත් මෙම තරුණයාගේ කතාව (ලංකාදීප/ රිවිර හෝ ලක්බිම පුවත් පතක පල වුනා)
මේ තරුණයා අමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් කෘතිම බුද්ධිය (AI – Artificial intelligence ) සඳහා වූ උපාධියක් ලබා ගන්නවා. මගේ මතකය නිවැරදිනම් එය ආචාර්ය උපාධියක්. කෙසේ හෝ උපාධිය ලබා ගැනීමෙන් පසුව ඔහු ලංකාවට ඒමට තීරණය කරන්නේ මවුබිමට කිසියම් සේවයක් කිරීමේ අදහසින්. මෙහිදී ඔහුගේ ආචාර්යවරයෙක් ඔහු නවතාගන්නට උත්සාහ කරන්නේ “ඔබ පිහිනීමට යන්නේ වතුර නොමැති පිහිනුම් තටාකයක” බව පවසමින්. එහෙත් අවසානයේ ඔහු ලංකාවට පැමිණෙනවා.
ලංකාවට පැමිණෙන ඔහු සුවිශේෂ රොබෝ කණ්ඩායමක් නිර්මාණය කරනවා. එය ලංකාවට අතිශයින් වැදගත් වූ නිර්මාණයක් වන්නේ ඔවුන් බිම්බෝම්බ හඳුනා ගන්නා කණ්ඩායමක් නිසයි. මේ රොබෝ වරුන් පාද සයක් ඇති කෘමියෙකුගේ හැඩය ගත් අඩියක් පමණ විශාල වූවන්. එමගින් රළු මතුපිටක දී වුවත් ගමන් කිරීමට ඔවුන් සමත්වනවා. බොහෝ බිම්බෝම්බ ඉවත් කිරීමේ උපකරණ එසේ කරනුයේ අඟල් ගණණාවක් පොලව හාරාගෙන ඉදිරියට යමින්. එමගින් ගස්කොලන් සේම අපේරටේ, විශේෂයෙන් උතුරු නැගෙනහිර පලාත්වල සාරවත් පස ඇති පොලවේ ඉහල ස්ථරය විනාශවෙනවා. නමුත් අපේ කථානායකයා සැලසුම් කල රොබෝ වන් පොලව මතුපිට ඇවිදිමින් බෝම්බ සොයා ගැනීමට සමත් කම් දක්වනවා. අනෙක් වැදගත්ම කාරණය වන්නේ මේ කණ්ඩායම සමූහයක් ලෙස ක්‍රියා කිරීමයි. එක් අයෙකුට බාධකයක් හමුවූ විගස එය අනෙක් සියලුදෙනා දැනුවත් වෙනවා. බෝම්බයක් උනත් එසේමයි.
ඉන් අනතුරුව මේ නිර්මාණය ඔහු ජිනීවාහි (මතකය නිවැරදිනම්) නව නිර්මාණ කරුවන්ගේ සංගමයකට හෝ ප්‍රදර්ශනයකට ගෙන යාමට උත්සාහ දරනවා. මෙහිදී කුමන හෝ කාරණයක් නිසා අපේ රටේ ඉහල ස්ථරයකින් ඊට විරෝධතාවක් එනවා. ඔහු කරන්නේ එකී අවනඩුව එකල රාජ්‍ය නායිකාව වෙත ඉදිරිපත් කිරීමයි. නමුත් ඉන් සිදුවන්නේ ඔහු තවත් පහලට ඇද දැමීම විනා වෙන කිසිවක් නොවේ.
මේ තරුණයා දැන් කොහේ සිටිනවාදැයි මා කල්පනා කරනවා. ඔහුගේ සොයා ගැනීම තවත් වැඩිදියුණු වී දියුණු රටක නාමයක් සමග අනාගතයේදී අපිට දකින්නට හැකිවෙන්න පුලුවන්.
මේත් සමගම කේන්ද්‍රඅහිසාරී බලයෙන් චලනය වන සංවෘත පද්ධතියක් සෑදූ කලුතර ප්‍රදේශයේ තරුණයෙක් ගැන මීට වසර කිහිපයකට පෙර මාධ්‍යවල ප්‍රචාරය වුනා. මෙහි වැදගත්කම ඉතා විශාලයි. උදාහරණයක් ලෙස අභ්‍යවකාශ චන්ද්‍රිකාවල/ යානාවල චලනයන් සඳහා වන ඝන හා ද්‍රව ප්‍රචාලන ඉන්ධනවල අවශ්‍යතාව මෙමගින් මග හරවාලීමට පුළුවන්. කෙසේ හෝ මේ තරුණයා නම් NASA ආයතනයේ අවධානයට ලක් වුනා. ඉන් අනතුරුව වූ දේ ගැන ආරංචියක් නැහැ. ඇතැම්විට ෆාත් ෆයින්ඩර් යානයේ ඇස ලෙස හැඳින්වූ අධෝරක්ත කැමරාව නිපදවූ මහාචාර්ය ගුණපාල (අමරසේකර ?) මහතා මෙන්ම ඔහු අනාගතයේ එහි සේවය කරාවි. ලංකාව තුල නොවුනත් මනුෂ්‍ය සංහතියේ ප්‍රගමනයට ලාංකිකයෙක් දායක වූයේය යන සතුටවත් අපට ඉතිරි වේවි.
මතු සම්බන්ධයි ෴
සංචාරකයා මේ වතාවෙ බ්ලොග් සටහනක් ( ෆර්මාගේ අවසන් ගැටළුව ) පළකරලා තිබුණා පියරේගේ ඝණ දෙකක එකතුව ගැන කියවෙන ලෝක ප්‍රසිද්ධ ප්‍රමේයයක් ගැන . මේ ප්‍රමේය ගැන ඇසෙන හැමවිටකම මට කාරණා ගණනාවක් එක පෙලට මතකයට එනවා. ඒ සියල්ලම ලාංකිකයින් හැටියට අප කණගාටුවිය යුතු අවස්ථා ලෙසයි මා දකින්නෙ.
පළවෙනි කාරණාව පියරේගේ ගණිත ප්‍රමේයය සම්බන්ධවමයි. මේ සම්බන්ධව මා දැනුවත්ව ඇති කාරණා සමහර අවස්ථාවලදි සංචාරකයාගේ සටහන් සමග නොගැලපීමක් ඇති බව මා දුටුවා. කෙසේ හෝ මා මතුකරන මූලික අදහසට ඉන් බාධාවක් නොවන බවත් ඒ සමගම පැවසිය යුතුයි.
පියරේගේ නොවිසඳුනු ගණිත ප්‍රමේයය ගැන මා දැනුවත් වන්නේ 9 වසරේදී පමණ. මා පුදුම කල කරුණ වූයේ එය කොලයක ලිවිය යුතු තරම් වන සාධනයක් නොවන බව (ඉතා සරල සාධනයක් බව) ඔහු පැවසූවත් ශත වර්ෂ ගණනාවක් ඉක්මගිය පසුත් එය සාධනය කල හැකි පුද්ගලයෙක් මුණ නොගැසීමත් යන කරුණු නිසා. කෙසේ හෝ එය කිසියම් පුද්ගලකේ සාධනය කල බව මා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයකින් දැන ගත්තා (සංචාරකයා එය 1995 සිදුවූ බව සඳහන් කලත් මගේ මතකයට අනුව එය ඊට කලින් සිදු වූවක්. කෙසේ නමුත් එය මේ කාරණාවට ඒ තරම් අදාල වූවක් නොවේ). ඔහුගේ සාධනය පිටු සියගණණක් දුරට විහිදුනු එකක් වීමත් එය පැහැදිලි කිරීම සඳහා ඔහු පැය ගණණාවක් ගත් බවට පලවූ වාර්තාත් මා ඒ තරම් නොසැලකූයේ මා ප්‍රිය කල ගැටළුවක් මිනිසෙක් විසඳූ ප්‍රීතිය මසිත පුරවා තැබූ නිසාවෙන්. කෙසේ හෝ මේ සාධනය දෝෂ සහිත වූවක් බව මා පසු කලෙක දැන ගත්විට මා ඉමහත් දුකකට පත් වූ බවත් සඳහන් කල යුතුයි.
කෙසේ හෝ මගේ කතාව ඇරඹෙන්නේ මෙයින් අනතුරුවයි. ලංකාවේ මිනිසෙකු මේ ප්‍රමේයය සඳහා පේලි 15කට නොඅඩු සාධනයක් ඒ කාල වකවානුවේදීම වාගේ ඉදිරිපත් කරනවා. නමින් අනුරසිරි වූ ඔහු පොලොන්නරුව ප්‍රදේශයේ ගොවියෙක්. දරිද්‍රතාවය නිසා සාමාන්‍යපෙළ දක්වාවත් ඉගෙන ගන්නට නොහැකි වූ ඔහු ගණිතය පිළිබඳව දක්වන‍්නේ ඉමහත් ඇල්මක්. කෙසේ හෝ ඔහු ඉල්ලීමක් කලා මෙය අදාල අංශවලට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙනමෙන්. කෙසේ හෝ ඒ අවස්ථාව ඔහුට අහිමි කරන්නේ ගණිතය සම්බන්ධයෙන් ලංකාවේ ඉහලම තනතුරු හොබවන අති උගත් මහතුන් කිහිපදෙනෙක්. වඩා වැදගත් වන්නේ එය සාධාරණීකරණය ඔවුන් අනුරසිරිගෙන් අසන ලද ප්‍රශ්නය. එවකට මා කියැවූ ආකාරයට ඔවුන් අනුරසිරි මහතාගෙන් අසා ඇත්තේ, සාමාන්‍යපෙළ වත් සමත් නොවූ ඔහු මෙවන් ගණිත ගැටළු විසඳීමට තැත් කරන්නේ ඇයිද යන්නයි. මා අනුරසිරිගේ සාධනය දැක තිබුණත් එය මගේ ගණිත දැනුමට එපිටින් තිබූ බව මගේ මතකයයි. කෙසේ වෙතත් වඩා වැදගත්වන්නේ අනුරසිරි මහතාගේ කකුලෙන් ඇදීම නොව ඔහුගේ උත්සාහයන් අගයා දිරිමත් කිරීම බව කුඩා වුවත් මටද සිතුණු බව මතකයි.
නැවතත් අනුරසිරි මහතා මතුවන්නේ ඉතා මෑතකදී රිවිර පුවත්පතේ ලිපියකින්. දැන් ඔහු මදක් වයසයි. ඔහුට යා නොහැකි දුර තම පුතු යතැයි බලා සිටිනවා. කෙසේ වෙතත් එදා (වසර 15කට පමණ පෙර) මා ඔහු ගැන කියවූ ලිපියම කියැවූ සුවිශේෂී පුද්ගලයෙකු වූ මේජර් ජෙනරාල් ආනන්ද වීරසිංහ මහතා (වර්තමානයේ බුද්ධංගල ආනන්ද හිමියන්) ඔහුට උදව් කොට තිබෙනවා. මගේ මතකය නිවැරදිනම් ජර්මානු ජාතික ගණිත මහාචාර්යවරයෙක් මෙහිදී අනුරසිරි මහතාට බොහෝ උපකාර කලත් භාෂා ප්‍රශ්නය ඔහුට තදින් බලපා තිබෙනවා. අනුරසිරි මහතා පිළිබඳ කතාව මා නවතන්නේ තවත් එක් වැදගත් කරුණක් ඔබට පවසමින්. ඒ මේ සාමාන්‍යපෙළවත් සමත් නැති උත්සාහවන්ත කුඩා මිනිසා පසු කලෙක ඔලිම්පියාඩ් ගණිත ප්‍රශ්න පත්‍රයද සැකසූ බවයි. එය ඔහුට අවමන් කල අපේ රටේ උගත් (?) කණ්ඩායමට එල්ල කල අතුල් පහරක් ලෙස මා දකිනවා.
මේ අවසනාවන්ත සිදුවීමට මුහුණ දුන් පලවෙනියාත් අවසානයාත් ඔහු නොවෙයි. අපේ මිනිසුන් දිහා අවමානයෙන් බලන සමාජක්‍රමය අවසන් වන තෙක්ම මේ අවාසනාවන්ත තත්වය ඉදිරියටත් පවතීවි. හෙලිකොප්ටර් යානයක් තැනූ තරුණයෙක් මෙන්ම තුවක්කු නිපදවූ තරුණයෙකුත් සිරගත කල එසේම බොහෝ නව නිපැයුම් කරුවන් හා නිර්මාණ ශිල්පීන් නොසලකා හල ඔවුන්ගේ දැනුම මාතෘභූමියේ ප්‍රගමනයට භාවිතා නොකල සෑම පාලකයෙකුම, උගතෙකුම මේ සඳහා වගකිව යුතුයි. මතක තබා ගන්න! එය එක් පාටකට පක්ෂයකට අයත් චෝදනාවක් නොවෙයි. අඩු වශයෙන් දැන්වත් පක්ෂ පාට බේද වලින් තොරව එවන් මිනිසුන් ඉදිරියට ගැනීමේ ක්‍රමවේද බිහිවිය යුතුයි.
(මේ ලිපිය මා සිතුවාට වඩා දිගු වන බැවින් එය කොටස් කිහිපයකට වෙන් කිරීමට තීරණය කලා. එසේ නොකලානම් මට ලියන කාරණා කෙටි කිරීමට සිදුවෙනවා. දෙවන ලිපිය හැකි විගස පල කිරීමට බලාපොරොත්තු වෙනවා)
මා පසුගිය දිනෙක ලියූ අන්තර්ජාල පහසුකම් ලබාදීම නතර කරමු … නම් ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ ලැබුණු බොහෝ ප්‍රතිචාර බොහොම දරුණු ඒවා. එය ස්වභාවිකයි. අන්තර්ජාලයෙන් විපුල ඵල ලබන අය, එහි සැබෑ වටිනාකම දන්නවා. යම් කෙෂ්ත්‍රයක් පිළිබඳ අදහස් දැක්වීමේදී කෙනෙක් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එය කිසිලෙසකින්වත් ඉහත ලිපිය ලියූ සමාජීය විද්‍යාඥවරයා අවබෝධ කරගෙන සිටි බවක් මාද දුටුවේ නැහැ. මට මතක් වන්නේ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාව. සමාජ විද්‍යා පර්යේෂණ වලදී එතුමා ඒ හා සබැඳුනු කාරණා සෙවීම සඳහා කල කැප කිරීමත් ඒ සඳහා ගත් අවදානමත් අපේ සියලු සමාජ විද්‍යාඥවරු (ඇතැම් විට එලෙස හඳුන්වා ගන්නා අයද ඇතුලත්ව) ආදර්ශයට ගත යුතු යැයි මා විශ්වාස කරනවා.
තාක්ෂණය සම්බන්ධයෙන් සැලකූ විට ඉහත පුද්ගලයා ඇතුලු එම කුලකයේ අය සාමාන්‍යයෙන් නව තාක්ෂණයට බියක් දක්වන අය. මෙය මානසික ප්‍රශ්නයක් (Technophobia – http://en.wikipedia.org/wiki/Technophobia). එවන් අයට අපේ අනුකම්පාව හිමිවිය යුතුයි.

වරක් මා හඳුනන විශ්‍රාමික වැඩිහිටියෙක් සමග කතා බහක යෙදී සිටියෙමි. මෙවන් විටෙක සාමාන්‍යයෙන් රැකියාව කුමක්දැයි ඇසුනු විට පිලිතුරු දීමට වඩා එය පැහැදිලි කිරීම මෘදුකාංග ශිල්පියෙකුට මදක් අසීරු කරුණක්. මා එය හොදින් අත්විඳ තිබෙනවා. බොහෝ විට වැඩි විස්තර නැතිව පරිගණක සම්බන්ධ රැකියාවක් යන්න පැවසීම පහසුයි. පහත දක්වා ඇත්තේ මට මතක ඇති ආකාරයට ඉන් පසුව ඔහු හා කෙරුණු සංවාදයයි.
ඔහු – අපේ කාලෙ නම් ඔය වගේ ඒවා තිබුණෙ නෑ. අපි තනිකරම අපේ මොළෙන් තමා ඔය දේවල් කලේ. ඒකට දැන් ඉන්න උන්ට බොත්තම් ටිකක් ඔබන එක විතරයි තියෙන්නෙ.
මම – එහෙමම කියන්න අමාරුයි (මට මා කියූ කාරණා නිවැරදිව මතකයේ නැති වුවත් එය ඔහුගේ මතයට ප්‍රතිවිරුද්ධ වූවකි) .
ඔහු – නැත්තෙ මොකද? ඒක එහෙම තමයි. දැන් ඉන්න එවුන්ට දීර්ඝ බෙදීමක් කරන්න පුළුවන්ද කොලේක ලියලා. ඒකට අපි. ඒකාලෙ අතින්ම තමා කලේ. (ඔහු මට දීර්ඝ බෙදීම සම්බන්ධ අභියෝගයකුත් ඉදිරිපත් කරයි)
මම – (ඔහුට පරිගණකය නිසා අතින් කල වැඩ බොහොමයක් කිරීමට ගිය කාලය ඉතිරිකර ගත හැකි බවත් පරිගණකයේ සාමාන්‍ය අයට වැඩ කරගැනීමට පද්ධති සකසන්නෙකු බොහෝ වෙහෙස වන බවත් ඔහුට කීමට නිරර්ථක උත්සාහයක් යෙදෙමි. ඔහු ඒ මතය වෙනස් කිරීමට කිසිදු කැමැත්තක් නොදක්වයි)
මෙය ඔහුගේ වරදක් ලෙස දැකීමට මම අකමැත්තෙමි. සාමාන්‍ය කාර්යාලීය සේවකයෙකු ලෙස සේවය කල ඔහුගේ දැනුමට අනුව ඔහු තර්ක කරයි (ඔහු සමාජ විද්‍යාඥයෙකු නොවේ). සහ ඇතැම් විට ඔහුද නව තාක්ෂණයේ වාසි දැක්කා විය හැකි මුත් තමන් වැදගත් යන හැඟිම හා එය පෙන්වීමට ඇති නොතිත් ආශාව හෝ දැකීමට පුරුදු කල රාමුව බිඳීමේ අකමැත්ත මා සමග තර්කයට ඔහු යොමුකලා විය හැකිය.
එසේම මට මේ හා බැඳුනු තවත් කාරණාවක් සිහියට එයි. ඒ ඇතැම් පුද්ගලයන් පැතුරුම් පත් (spread sheets: excel, lotus etc) මගින් ගණණය කල අගයන් නැවත අතින් හෝ ගණණ යන්ත්‍ර (calculator) හාවිතාවෙන් නැවත පිරික්සන බවයි. එය අවශ්‍ය නොවන බව ඔවුන්ට දැන්වීමට මහත් වෙහෙසක් ගත යුතු අතර ඇතැම් විට එයද අසාර්ථක වෙයි.
පාසැල් වලට පරිගණක හඳුන්වා දුන් මුල්කාලයේ තිබු ප්‍රධානතම ගැටළුවක් වූයේ ගුරුවරුන්ගේ පරිගණක සාක්ෂරතාව මද වීමයි. ඇතැම් විටක සිසුන්ගේ දැනුම ඔවුන්ට වඩා ඉහලින් තිබූ බව මා නිරීක්ෂණය කර ඇත්තෙමි. ගුරුවරුන් කොටසක් වහ වහා මේ පරතරය පියවීමට සමත් වූවත් ඉහත කී Technophobia වෙන් පෙලෙන ගුරුවරු බොහෝ විට මෙහිදී අසාර්ථක වූ බව මගේ මතකයයි. වඩාත්ම කණගාටුදායක කාරණයක් නම් අපේ මේ කතාවට පාදක වූ ලිපිය සේම මෙවන් ගුරුවරුන්ද සමාජයේ අනෙක් පුද්ගලයන්ගේ ආකල්ප වලට බලපෑමක් කල හැකි කුලකයේ අය වීමයි. එවන් විටෙක වෙන හානිය ප්‍රතිපූර්ණය කිරීම බොහෝ වෙහෙසකර කටයුත්තක්.
Technophobia වෙන් නොපෙලුනත් තමන් දැනුවත් නොවන මාතෘකා පිලිබඳ ලිපි ලියන මාධ්‍යවේදීන්ද සාවද්‍ය කරුණු සමාජගත කරනු ලබනවා.
වසර දෙදහසේදී පරිගණක වල හට ගැනීමට නියමිතව තිබූ දෝෂය (Y2K bug : Year 2000 bug) එක්තරා පුවත්පතකට (දිවයින නොවේ) ලිපියක් ලියූ මාධ්‍යවේදියෙක් (1999 දී) හඳුන්වා දී තිබුණේ Y2K නම් මකුණා ලෙසයි. එය සිරස්තලයට පමණක් යොදා තිබුණේනම් එය අවධානය ලබා ගැනීමට පමණක් කල එකක් බව සැලකිය හැකිව තිබුණත් මේ වැරැද්ද ඔහු ලිපිය පුරා කර තිබුණු අතර තාක්ෂණික කරුණු ගැන හරිහැටි නොදන්නා පාඨකයාට ඉන් ලැබුණේ ඉඳුරාම වැරදි වූ අදහසක් ය යන්න මගේ අදහසයි.

මේ ආකාරයේ උදාහරණ තවත් ඕනෑතරම් වර්තමාන පුවත්පත් වලද දැකිය හැකියි. අදද දැකිය හැකි සුලබම කාරණයක් වන්නේ අන්තර්ජාලය (Internet) හා ලෝක ව්‍යාප්ත ජාලය (world wide web) යන්න එකක් ලෙස ගෙන කරන විග්‍රහයන්. එහෙත් මෙකී කාරණා නම් Technophobia වෙන් පෙලෙන්නවුන් මතු කරන අදහස් සමග සැසඳීමේදී නොසැලකිය හැකි ගණයේ පවතින ඒවා බව මගේ හැඟීම.
ලිපිය අවසාන කිරීමට පෙර පෙරකී පුවත්පතේම මාධ්‍යවේදියෙක් තාක්ෂණයට අදාල නොවන කාරණාවක් විග්‍රහ කල ආකාරය ලියා තබන්නම්. මිනිසාට නිරුවත් වානරයා යන්න භාවිතා කිරීමට හේතුව, අතීතයේ මිනිසා ඇඳුම් නැතිව ජීවත් වීම යැයි පවසා තිබුණා. (නමුත් සත්‍ය කාරණාවනම් සියලු වානරයින් සැලකීමේදී මිනිසාගේ ශරීරය රෝම වලින් නොවැසී තිබීමයි).
කෙසේ හෝ මේ සියලු කාරණාවලින් මා මතුකරන කාරණාව වන‍්නේ සමාජයක චින්තනයට බලපෑමක් කල හැකි තත්වයක පසුවන පුද්ගලයන් තම අදහස් පල කිරීමේදී මනා සැලකිල්ලක් දැක්විය යුතු බවයි. එය කෙසේ, කවදා වේවිද යන්න නම් ප්‍රශ්නාර්ථයක්.
පසුගිය දිනෙක මට ඉතා දුර්ලභ අවස්ථාවක් ලැබුණා. ඒ ශල්‍යාගාරයක් තුල ඡායාරූප ගැනීමක්. එම අත්දැකීම කෙටි කාල පරිච්ඡේදයකදී ජීවිතය තවත් සිතා බැලීමට මානයක් විවර කරවූ බවක් මට දැනෙන බව ලියා තැබිය යුතුයි. එය වෙනමම ලොවක්. රෝගියෙකුගේ අනාගතය වෙනස් කරන අවස්ථාවක්. ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයම කැප වෙන්නේ එක් අරමුණක් වෙනුවෙන්. එය කෙලෙසකින්වත් වචන වලින් ලියා තැබිය හැකි හෝ පැහැදිලි කල හැකි අවස්ථාවක් නොවන බවයි මගේ අත්දැකීම.
එතරම් කාර්ය බහුල මොහොතක වුවත් ලබන සුළු විරාමයන් හිදී ඇතැම් කාර්යයන් හා උපකරණ පිළිබඳව මා දැනුවත් කල සමස්ත කාර්ය මණ්ඩලය පිළිබඳව මට ඇත්තේ පහන් හැඟීමක්.

මේ අවස්ථාව මට ලැබුණේ මුල්ලෙරියාව මූලික රෝහලේදී. එහි වෙබ් අඩවිය සඳහා අවශ්‍ය වූ තාක්ෂණික සහය ලබා දීමත් ඡායාරූප ගැනීමත් සඳහා මට ඇරයුම් කලේ රෝහලේ සහය අධ්‍යක්ෂක වෛද්‍ය ඉන්දික සම්පත් මහතා විසින්. මා මගේ කටයුත්ත සාර්ථකව කල බවක් මා විශ්වාස කරනවා. වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීමේ කටයුත්තේ ඔවුන් නිරතව සිටිනවා. එය සාර්ථක වූ පසු මේ බ්ලොග් අවකාශයේ තවත් සටහනක් තැබීමට මට හැකිවනු ඇති.

මේ කාර්යයේදී නිරතුරුව මට සහයෝගය දුන් තුලිත සජීව සොයුරා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයටත්, සිහිවටනයක් ලෙස ශල්‍යාගාරය තුලදී මගේ ඡායාරූප කිහිපයක් ගෙන දුන් වෛද්‍ය චන්දික මහතාවත් මතක් කල යුතුයි.